ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මහා විහාරස්ථානයේ (කැන්දලන්ද පන්සල) ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් දායක සභාවේ සහායද ඇතිව වෛද්‍ය සායනයක් පසුගියදා පැවැත්විණි. රෝග පරීක්ෂාවෙන් පසු අධික රුධිර පීඩනය,කොලෙස්ට්‍රෝල් වැනි දීර්ඝ කාලීන රෝගවලට මසකට සෑහෙන සියලුම ඹෟෂධ නොමිලයේ ලබාදීම සිදුකළ අතර මේ සඳහා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලබාදිය හැකි ඉතා සුළු මුදලක් පමණක් රෝගීන්ගෙන් අයකර ගනු ලැබේ. එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් 2000කටත් වඩා අධික වටිනාකමැති ඖෂධ ප්‍රමාණයක් ලබාදීම මෙමගින් සිදු කරනු ලැබිණි. මෙම බටහිර වෛද්‍ය සායනය ගැන විපුලසාර හිමියෝ මෙසේ පැවසූහ.”දැනට වසර කිහිපයකට කලින් පටන්ගත් මෙම වෛද්‍ය සායනයට දැන් රෝගීන් 50ක් විතර එනවා. ඒ අයකට අවශ්‍ය ඖෂධ මාසයකටම සෑහෙන්න අපි මෙතනින් ලබාදෙනවා. ඖෂධවලට මාසෙකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වෙනවා. ඒ මුදල් සොයාගැනීම ලොකු ගැටළුවක් වෙලා. එන්න එන්නම ඖෂධවල මිල ගණන් ඉහල යනවා. මාස්පතා පැමිණෙන රෝගීන්ගේ ගණනත් වැඩි වෙමින් පවතිනවා. හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතාගේ උපදෙස් පරිදි එහි වෛද්‍ය නිලධාරී ආර්.පී. රණතුංග මහතා විසින් රෝගීන් පරීක්ෂා කර ඖෂධ නියම කිරීම සිදුකරනු ලබයි.
