ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම, බුලත්සිංහල ආදී ප්‍රදේශ රැසක නිවාස, වෙළදසැල්, බැංකු මංකොල්ලකෑම් පිළිබදව පොලීසියට අවශ්‍යව සිටි තුන්දෙනාගේ කල්ලියට ඇතුලත් සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 25කට අධික භාණ්ඩත් සමග අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසිය සමත්විය. මෙම සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි එකම පවුලක අයියා-මලෝවරුන් වන අතර ඉතිරි සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ අයෙකි. තිදෙනාම වයස අවුරුදු 18-20ත් අතර අවිවාහකයන් බව පොලීසිය පවසයි. පසුගිය 25වැනිදා ඉංගිරිය නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් බිද එහිවූ රු ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගැනීමේ සිද්ධියක් පිළිබදව පරීක්ෂණ පැවැත්වූ ඉංගිරිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගෙන් ප්‍රශ්ණ කිරීමේදී එම රන් භාණ්ඩද සමග මෙම තුන්දෙනාගේ කල්ලිය පිළිබදව තොරතුරු අනාවරණය වූ අතර ඔවුන් විසින් හොරණ, බණ්ඩාරගම, ඉංගිරිය, බුලත්සිංහල ආදී ප්‍රදේශ රැසක කරන ලද සොරකම් පිළිබද තොරතුරුද හෙලිවී තිබේ.
ඉංගිරිය සමෘද්ධි බැංකුවට රාත්‍රියේ ඇතුල්වී එහි තිබූ එක්ලක්ෂ හතලිස් දහසකට අධික වටිනාකමැති ලැප්ටොප් යන්ත්‍ර ඇතුලු පරිඝණක යන්ත්‍ර පැහැරගෙන ඇත්තේද මෙම කණ්ඩායම විසිනි. ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ නිවසක ලොරියක පටවා තිබූ රු පනස් දහසකට වඩා වටිනාකමැති ඔට්ටපාලු තොගයක්ද ඒ අසල තිබූ තවත් ලොරියක බැටරියක්ද සොරාගත් මෙම පිරිස ඉංගිරිය දිවුල්පොතදී වතුර මෝටරයක්ද, රු ලක්ෂයකට වඩා වටිනාකමැති ජේ.සී.බී යන්ත්‍ර අමතර කොටස්ද සොරාගෙන ඇතිබව පොලීසිය මගින් අනාවරණය කැරගෙන ඇත. හොරණ ප්‍රදේශයේ ටයර් වෙළදසැලකට රාත්‍රියෙහි ඇතුලුවී ටයර් තොගයක් සොරාගැනීම සහ ඉළිඹ හන්දියේ ජංගම දුරකථන අලෙවි ආයතනයකින් ජංගම දුරකථන සහ උපාංග සොරාගැනීමද මෙම තුන්දෙනාගේ කල්ලියේ වැඩක් බව අනාවරණය වී ඇත. බණ්ඩාරගම නගරයේ සොරකම් රැසකට සම්බන්ධ මෙම පිරිස විසින් එහ් යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලකින් පැහැරගන්නාලද යතුරුපැදි අමතරකොටස්වල වටිනාකම රු ලක්ෂ තුනහමාර ඉක්මවා ඇත. මේ හැර එම පිරිස විසින් සොරාගන්නා ලද කැසට් යන්ත්‍ර,වී.සී.ඩී, ඩී.වී.ඩී යන්ත්‍ර ඇතුලු භාණ්ඩ රැසක්ද පොලීසිය විසින් සොයාගනු ලැබීය. සොරකම් කරන ලද භාණ්ඩ තොගයක් එක් සැකකරුවකුගේ පෙම්වතියගේ නිවසේ ඉඩමේ වළලා තිබී පොලීසිය සොයාගෙන ඇත.
බස්නාහිර පළාත නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී පතිරණ, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර, පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ, පානදුර පොලිස් අධිකාරී ග්‍රෙගරි කුරේ, පානදුර අපරාධ හා මෙහෙයුම් අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් සිල්වා, හොරණ සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ජී. විජේරත්න මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.