බොහෝ දෙනා විනෝදය සදහා විවිධ දේවල් කරති. එහෙත් විනෝදයත්, එමගින් පරිසරය සුරැකීමත් ලාබ අපේක්ෂාවෙන් තොරව පොදු මහජනතාවට සේවයක් සදහාත් ඔසු පැළ වගාව සදහා යොමුවී ඇති අය මේ රටේ ඇත්නම් ඒ කලාතුරකින් විය යුතුය. එවන් පුද්ගලයෙකු පිළිබද කතාවයි මේ.
ජේ. උදයරත්න එවැන්නෙකි. පදිංචිය ඉංගිරිය රත්නපුර මාර්ගයේ ඇල්ලගාව ගම්මානයේය. දස වසරකටත් අධික කාලයක් මුළුල්ලේ දිවයින පුරා කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ඉදිකරමින් පවුල් විසි දහසකට අධික සංඛ්‍යාවකට ආලෝකය ලබාදුන් මොහු, අද සිය කාලය ශ්‍රමය මෙන්ම ධනයද වඩාත් වැය කරන්නේ තම ඔසු උයනේ දියුණුව සදහාය.
උදයරත්න මහතා සතු ඔසු උයන අක්කරයක් පමණ විශාල බිම් කඩක් පුරා පැතිරී ඇත. 2002 වසරේ ආරම්භ කරඇති මෙම ඔසු උයනේ ශ්‍රී ලංකාවට විදේශ රටවලින් (විශේෂයෙන් ඉන්දියාවෙන්) ආනයනය කරන ඖෂධ වර්ග රැසක්ද හොද හැටි වවා ඇති අයුරු දැකගත හැකිවිය. මෙහි බිම් ප්‍රදේශයක් පුරා පැතිර ගිය කටුවැල්බටු තොගයම එයට සාක්ෂි දැරීය. ශ්‍රී ලංකාවේ ඉතාම දුර්ලභ පැළෑටියක් ලෙස සැලකෙන ගජමදාරා ගසක්ද මෙහිවේ. දැනට මෙම ගජමදාරා පැළයක් නාවින්නේ ආයුරුවේද පර්යේෂණගාර භූමියේද ඇති අතර විහාර මහා දේවී උද්‍යානයේ ඇති ගජමදාරා ගසද ආරක්ෂිත වැටකින් ආවරණය කර ඇත්තේ එහි දුර්ලභ බව නිසාමය
ශ්‍රී ලංකාවේ එකම තැනකදී අක්කරයක පමණ පුංචි බිම් කඩකදී මෙතරම් ඖෂධ පැළෑටි දැකගත හැකි එකම ස්ථානයද මෙය විය හැකිය. මෙම ඔසු උයන පවත්වාගෙන යන උදයරත්න මහතා පැවසූ පරිදි ගජමදාරා පැළය ඉතා දුර්ලභ පැළෑටියක් ලෙස සැලකෙන්නේ එම ගසේ ඇට වලින් ඇට ලක්ෂයකට පමණ එක් ඇටයක් පමණක් පැළවන නිසාය.
මෙම ගස ඇති තැනට විෂකුරු සර්පයන් නොපැමිණෙන අතර එම ගසට කූඹියෙක් හෝ ගොඩනොවීමද විශේෂ ලක්ෂණයකි. ඉතා දුර්ලභ පැළෑටියක් වන නගාමැරූ අළ පැළෑටියක්ද මෙහි දැකගත හැකිවිය. සමාදාන නමින් හැදින්වූ ඖෂධ පැළෑටියේ කොළයක් දෙකට ඉරා යළි ලං කළ විට එය තිබූ පරිදිම එකට හාවීම පුදුම සහගතය.
ඌව කෘෂිකර්ම විදුහලේදී කෘෂිකර්ම පාඨමාලාවක්ද හදාරා ඇති උදයරත්න මහතා එහිදී පස නොමැතිව ශාඛ වගා කළ හැකි (හයිඩ්‍රොෆොනික්) නිර්පාංශු ක්‍රමය පිළිබද විශේෂ පාඨමාලාවක්ද හැදෑරීය.
මෙම ඔසු උයන සදහා ඔසු පැළ ලබාගන්නේ කෙසේදැය අප විමසූවිට උදයරත්න මහතා කියා සිටියේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින තම හිත මිතුරන් මගින් ඹෟෂධ පැළ ලැබෙන බවයි. විශේෂයෙන්ම උතුරු කරදන පාදිලිඇල්ලේ කොස්හේනේ නිමල් මහතා දිවයින පුරා සංචාරය කැර දුර්ලභ ඖෂධ පැළෑටි ගෙනැවිත් දෙන බවද ඔහු පැවසීය. තවත් වසර 5ක් යනතුරු මෙහි ඇති ඖෂධ පැළ පිටස්තර අයට ලබාදීම කළ නොහැකිබවද ඔහු පැවසීය. ඒ මහතා මෙම ඔසු පැළ බෝකැරගත් පසු ඒවා නොමිළයේම බෙදාදීම තම අපේක්ෂාව බවද කීය. දිවයිනේ පහසුවෙන් වගාකළ හැකි එහෙත් විදේශ රටවලින් ආනයනය කැරෙන ඖෂධ වර්ග මෙහිම වගාකර එමගින් විදේශ විනිමය රැකදීමටත්, ඔසු වගාව මගින් මෙරට පරිසර සංරක්ෂණයට යම්කිසි මෙහෙයක් ඉටුකරලීමත්, දුර්ලභ ඖෂධ ශාඛ නොනැසී රැක ගැනීමටත් මෙම ඔසු උයන මගින් තමන් බලාපොරොත්තුවන බව කී උදයරත්න මහතා මෙම වගාව ව්‍යප්ත කැර එමගින් කිහිප දෙනෙකුට හෝ රැකියා සැපයීමටද හැකි බවද කීය.